Tuesday, September 23, 2008

ඔබේ බිහිවීම හා මගේ අත්හැරීම

සිත් පිත් නැති ලෙසට
හදවත් ඉවුරු බැමි තර කොට
සෙනෙහෙ දිය උරා ගති සිදෙන්නට
ඒ දියෙන් පැහැසර
පොහොනි වූ ලදලු පත දකිමින්ම
සොම්නස්ව
සිදී කෘෂ වූ ගතින
දමා යමි මම ඉතිරි දිය බිඳද

කලල බිජුවට තුලින් මතුවුන අ0කුර ,
කළළයත් දෙපළු කර
මතුවට මහ ගසක පෙරනිමිති දනවන
මලුත් පළ ගැන සිහිනයක
දෙපලු වූ හද අතැර යමි මම
සිහිනයෙන් සැබෑවට

අහම්බෙන් දිනයක ,
ඇස් රතු කරගත් කෙවිලියගෙ සත්සරයකද
පෙති ගිලිහි කුසුමට වැලපෙනා නටුවකද
ලදලු හැරදා මියෙන මහළු පත් වැළපුමක
මතකයේ අවතාර පෙනී නොපෙනෙනා විට
අසුරු සැනයක රඳවාපන් සිත
දිය බිඳක සිසිල හා කලලයක උනුසුමක
දිනෙක අත් හැරී ගිය


Friday, September 19, 2008

මගේ කතාවද?

ජීවිතේ යනු අපි එකිනෙකාගෙ කතාව විය නොහැකිද?
ජීවිතය මහා වෘක්ෂයක් සේ අලුත් සිදුවීම් දළුලමින්, පරණ සිදුවීම් වියලමින් අවුවට වැස්සට සසැලෙමින් එහෙත් . . අවුවෙනුත් වැස්සෙනුත් පණ ද ලබමින් වැඩෙයි දිරයි . .මොහොතකට නැවතී බැලුවොතින් අපි අපේ ජීවිත කතාව දෙස ඇරඹුමක් දැකිය හැකිද ඔබට මේ යැයි නැවතුමක් ද කෙසේව්ත් කෙදිනකවත් දිය නොහැකි බව නම් ප්‍රත්යක්ෂය ය.එසේ නම් කෙසේ කියන්නද ජීවිතේ කතාවක් , සිදුවීම් පෙළක් මිසක.


දිරා ගිය සිදුවීමක් !

දිරා ගොස් ගසකින් වැටුන කොළයක්
කොහෙ ගියෙදැයි සොයන්නේ කවුද ?

ඇස ගැටෙත් නොබල නා
නොසොය නා
නොතැවෙ නා
අයිතියක් නොකියනා

පොළවටම පස් වනු විනා නැතිය අන් සරණක් ද
බලාපොරොත්තුවක් පැතුමක් ද
මතකයක සොඳුරු සළකුනක් ද

බොහෝ දෑ අහිමි වී විඳගත්තු අතීතෙක
ටහන්ය නිහඩවම මතකයෙන් මිය ඇදෙන

Tuesday, September 16, 2008

සිතුවිලි

දකිනා බොහෝ දෑ තුලත් නොදුටු යමක් ඇත තවමත්
අසනා බොහෝ දෑ තුලත් නොඇසූ යමක් ඇත තවමත්
සිනහව අතර කඳුලක් සේම
අහිමි වීම් හා තැවීම් අතරත් සිනාවක් ඉතිරි නොවේමැයි ඉතින් කාට නම් කිව හැකිද ?
සබද,
මේ ඕනෑම දෙයක් සිදුවිය හැකි ජීවිතයයි . . .

කොතෙක් තරු හැඩ කලත්
සඳින්වත් එළි නොවූ අඳුරක්
තවම නොතියේවීද
අහස කොනකවත් . .

කලු වළා දිය වෙවී
කඳුලු කෝඩයක් මැවුවත්
හඩන්නට නොරිසි නිලක්
තවම නොතියේවිද
අහස කොනකවත් . . .


ස0සාර මඟද මේ ඇදෙන . . .

වැනි වැනී පීලි උඩ
ඇරඹුමෙන් නැවතුමට
නැවතුමෙන් ඇරඹුමට
ස0සාර මඟද මේ ඇදෙන . . .
අතර මඟ නැවතෙමින් ,
පුරව ගන්නා සියල්
ගමනාන්තය තෙක්ම පමනක්
හිස් අතින් අවසනදි
වෙයි තවත් ඇරඹුමක්
ස0සාර මඟද මේ තව දිවෙන . .